Saturday 27th of April 2024

English Tamil
Advertiesment


වැයිහේනේ නා හිමිගේ අවමංගල්‍ය පූජෝත්සවය ධර්ම සංවේග මධ්‍යයේ වොෂින්ටනයේදී


2024-03-22 2070


    
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)

 

වසර 94 ක් ආයු වළදා අපවත්වූ රාජකීය පණ්ඩිත කැනඩාවේ සග ගාල්ල ගඟබඩ පත්තුවේ ප්‍රධාන සංඝ නායක වැයිහේනේ පඤ්ඤාලෝක නා හිමිගේ අවමංගල්‍ය පූජෝත්සවය ඇමරිකාවේ වොෂින්ටනයට නුදුරු ගෙදර්ස්බර්ග් භාවනා මධ්‍යස්ථානයේදී ඉතා ගෞරවණීය ලෙස සිදු කෙරිණ.

ඇමරිකාවේ වොෂින්ටන් DC විහාරාධිපති උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක මහරගම ධම්මසිරි නා හිමි සහ වතුළියද්දේ රතනසීහ හිමි, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ මහතා සහ තානාපති නිලධාරීන් ඇතුළු දායක දායිකාවන් එම අවමංගල්‍ය උත්සවය සංවිධානය කොට තිබිණ.

ශ්‍රී ලංකාව සහ රටවල් රැසක හිමිවරු සේම අති විශාල  සැදැහැවතුන් පිරිසක් එම අවස්ථාවට එක්වූහ. මතක වස්ත්‍ර පූජාව සහ පැන් වැඩීමට මහා සංඝ රත්නය සමග ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති සමරසිංහ මහතා ද එක් වූහ. පිළිගැනීමේ කතාව වතුළියද්දේ රතනසීහ නා හිමි සිදු කළ අතර මල්වතු පාර්ශවයේ සහ අමරපුර නිකායේ ශෝක පණිවිඩ ද එහිදී කියවීය.

මහරගම ධම්මසිරි නා හිමි කතා කරමින්, වැයිහේනේ පඤ්ඤාලෝක නා හිමියන් උන්වහන්සේ වැළඳු අවුරුදු 94 ට වැඩි සේවයක් බෞද්ධ ලෝකයට සිදු කළා. විදුහල්පතිවරයෙකු ලෙස දූ දරුවන්ටත් සේවය කළා. අප අතර වසර 60 ක මිතුදමක් තිබුණා. ඒ අතරින් වසර 36 ක් අප ගත කළේ ඇමරිකාවේ වොෂින්ටන් නුවරයි. අපේ නා හිමිගේ උගත්කම සහ තීන්දු-තීරණ  ගැනීමේ හැකියාව අපේ කටයුතු පහසු කළා.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා කතා කරමින්, වැයිහේනේ පඤ්ඤාලෝක නා හිමි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරම පවිත්‍ර හිමිනමක්. ගාල්ලේ බද්දේගම වැයිහේනේ ඉපිද ඇසූපිරූ තැන් ඇතිව ආදර්ශමත් ජීවිතයක් නිම කළා. පවුලේ එකම දරුවා වුව ද මහනදම් පිරීමට වාසනාවන්තවී තිබෙනවා. උන්වහන්සේ ලෞකික සියල්ල අතහැර සිටි බව සනාථ වෙන කරුණු දෙකක් මම කියන්නම්.

උන්වහන්සේගේ මුදලක් යමෙකු අවභාවිතා කළ  විට නීති මගට යමුයි යෝජනාවී සුදු නීතීඥ කතක්ද ඊට සහායට ලබාදී තිබෙනවා. මා හිමි එම ප්‍රවේශය ප්‍රතික්ෂේප කළ විට නීතීඥ කත එම මුළු මුදලම ඇයගේ අතින් මා හිමිට ලබාදී තිබෙනවා."මට මේවා පිළිකුල් නිසා ඔබලා මේ සල්ලි ගන්න" යයි කියා මුදල්  සියල්ල බෙදාදී තිබෙනවා. මුදල අවභාවිතා කළ අය එම මුදල යළි එවූ විට ද මුදල් අවශ්‍ය ඔබට නිසා මේ මුදල් ඔබම තියා ගන්නැයි ඔහුටම යවා තිබෙනවා.

තවද මා හිමිගේ මව බලා ගත් කතට උන්වහන්සේ සතු සියලු දේ ලියාදීමටත් මා හිමි ක්‍රියා කර තිබෙනවා. උන්වහන්සේ සියල්ල අතහැර සිටි ආදර්ශමත් සහ නිවන් දොරටුව අසල සිටින හිමි නමක් බවට මම විශ්වාස කරනවා යයි ද තානාපති මහින්ද සමරසිංහ මහතා පැවසීය.

Advertiesment